පුදුම පුවත්
Search

බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස ඇත්තටම විසඳුනා ද?

බර්මියුඩා ත්‍රිකෝණයේ ගුවන්යානාවන් සහ නෞකාවන් අබිරහස් ලෙසින් අතුරුදහන් වීම ගැන අධ්‍යනයේ යෙදුන ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ කාලගුණ විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන්නේ මෙම කලාපයේ පවතින ෂඩාකාර වලාකුළු නිසා මෙම තත්වය ඇති වෙන බවයි. කාලාන්තරයක් පුරා හඳුනා ගත නොහැකිව තිබුණු බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස පිලිබඳ හේතුඵල සම්බන්ධතාවය දැන් අනාවරණය වෙන ලකුණු මේ නිසා පහල වෙමින් පවතිනවාය කිව්වත් වරදක් නැහැ.

කාලගුණ විද්‍යාඥයන්ගේ අලුත්ම අදහසට අනුව මෙහි පවතින ෂඩාස්‍රාකාර වලාකුළු විශේෂයක් පැයට සැතැපුම් 1700 ක වේගයෙන් ගමන්ගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් හමන වේගවත් සුළං වායුබෝම්බ තරමටම අනතුරුදායක බවයි. එවිට ඇති වෙන කුණාටු සහිත කාලගුණ තත්වයේදී නැවක් වේවා ගුවන්යානාවක් වේවා අනතුරට පත්වීමට තිබෙන අවදානම ගැන දෙවරක් සිතන්න අවශ්‍ය නැතැයි කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ චන්ද්‍රිකා තාක්ෂණ කාලගුණ විද්‍යාඥ ආචාර්ය ස්ටීච් මලර් සඳහන් කරයි. මෙම විද්‍යාඥයන්ගේ පෙන්වා දීමට අනුව වායු බෝම්බ වැනි ෂඩාස්‍රාකාර වලාකුළු දැකිය හැකි වන්නේ බර්මියුඩා දූපත්හි බටහිර කෙළවර දෙසට වන්නටය.

මේ අතර ජර්මනියේ සාගර විද්‍යාඥ ” මෝර් වල්ලැග් ” සෝනාර් තරංග ආධාරයෙන් ලබා ගත් තොරතුරු අනුව පෙන්වා දෙන්නේ බර්මියුඩා ප්‍රදේශයට ආසන්න සාගර කලාපයේ පළිඟු වැනි දෙයකින් නිර්මානය වුන පිරමිඩ පවතින බවයි.මෙම පිරමිඩවල උස ඊජිප්තු පිරමිඩ මෙන් දෙගුණයක් පමණ වෙන අතර එයින් නිපදවෙන චුම්බක බලයත් මෙම අතුරුදහන්වීම කෙරෙහි බලපාන බවයි. බහමාස් දූපත්හි පැවැත්වුන මාධ්‍ය සාකච්ඡාවේදී වල්ලැග් සඳහන් කළේ ඇත්තටම දැන් බර්මියුඩාවේ අභිරහසට පිළිතුරු සපයා ගත හැකි බවයි.

ක්‍රි.ව 1452 වසරේ ක්‍රිස්ටෝපර් කොලම්බස් මෙම යක්ෂයාගේ ත්‍රිකෝනය හෙවත් බර්මියුඩාව ඔස්සේ යාත්‍රා කරන විට විශාල ගිනි ජාලාවක් දුටු අතර ඒ සමග ඔහුගේ මාලිමාව අක්‍රිය වී ඇත. 1881 වසරේදී ඇලන් ඔස්ටින් නෞකාව මෙම ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරද්දී එහි සිටි පිරිසට වෙනත් නෞකාවක් හමු විය. කාර්ය මණ්ඩලය විසින් මෙම නෞකාව හිස් නිසා ඇලන් ඔස්ටින් නෞකාවෙන් කිසියම් පිරිසක් මෙම නැව ට ඇතුලූ කිරීමට අදහස් කළහ.එහෙත් ඔවුන් නොසිතූ ලෙසින් නැව අතුරුදහන් වූ අතර නැවත මෙම නැව ඔවුන් දකින ලද්දේ එක් වරක් පමණි.

1945 වසරේ දෙසැම්බර් මාසයේ පස්වැනි දින ඉතා දක්ෂ පියාසර නිළධාරියෙකු වූ ”චාල්ස් ටේලර්”ගේ ගුවන්යානය මෙම කලාපයේදී අතුරුදහන් විය. ඇවෙන්ජර් යානා හයම මෙම කලාපයේදී ඉතා අවාසනාවන්ත ලෙසින් අතුරුදහන් වීම කාගේත් මවිතයට හේතු විය. ෆ්ලොරිඩාවෙන් ගුවන්ගත වුන ඇවෙන්ජර් යානය ලබා දුන් පණිවිඩයක සටහන් වූයේ මග සලකුණු පිලිබඳව සැකයක් ඇති බවයි. හමුදා පාලක මධ්‍යස්ථානය සමග සම්බන්ධතාවයන් ඒ සමග බිඳ වැටුණි. පසුව දැනගන්නනට ලැබුනේ මෙම යානාවන් මුහුදට කඩා වැටුන බවයි.

1948 වසරේ ජනවාරි 30 වැනි දින ”බ්‍රිටිෂ් සවුත් ඇමරිකන් එයාර්වේස්” සමාගමට අයත් ”ස්ටාර් ටයිගර්” යානාව අසෝර්ස්හි ශාන්ත මරියා සිට බර්මියුඩාව දක්වා ගමන්කරනු ලැබුවේ ඒ වෙන විට පැවැති සුළං තත්වය ගැනත් නොසලකමින්ය. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ වීරයෙකු ලෙසින් සැලකුන ආතර් කොනින්හැම්ද මෙම යානයේ සිටි අතර පැය දොළහක ගමන්වාරය අවසාන කරන්නට බර්මියුඩා කලාපය ඔවුන්ට අවසර දුන්නේ නැත.

බ්‍රිටිෂ් සවුත් ඇමරිකන් එයාර්වේස් සමාගමට අයත් ”ස්ටාර් එරිල්” යානව 1949 වසරේ ජනවාරි 17 වැනි දින බර්මියුඩා ත්‍රිකෝනයේදී මගීන් විසි පස් දෙනෙකු සමග අනතුරට පත් විය. ජනවාරි 25 වැනි දින තෙක් සෙවීම් කටයුතුවල නිරත වුන අතර ඔවුන් උත්සාහය අතහැර දැම්මේ යක්ෂයාගේ ත්‍රිකෝනය වෙතින් මෙම යානාවන්ට සමාවක් නොලැබෙන නිසාය. එහෙත්, දැන් තත්වය ඊට වෙනස්ය. හැම අතුරුදහන්වීමක්ම යක්ෂයාගේ ගිණුමට බැර කළ යුතු නැත. ඒ වෙනුවෙන් පසුවිපරමේ යෙදෙන කාලගුණ විද්‍යාඥයන්ගේ අධ්‍යනයන් ඉදිරියේ මෙම අතුරුදහන්වීම පිටුපසින් ඇති කාලගුණ තත්වයන් බවට හදුනාගෙන ඇත.

– පුන්‍යා චාන්දනී ද සිල්වා




%d bloggers like this: