පුදුම පුවත්
Search

සතුටින් ඉන්න විදිහ ගැන රහස් 09 ක්

6-Characteristics-of-Happy-People

ඔයා දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්නවා? ඔව් මම දන්නවා අනිවාර්යෙන්ම ඔයාට එහෙම එක්කෙනෙක් හරි හමුවෙලා ඇති. ඇත්තටම ඒ අය තමන්ගෙ ජීවිතයට ආදරේ කරන අය. ඒ වගේම ශක්තිවන්ත සහ ඔවුන් කරන සෑම ක්‍රියාවකින්ම සතුටු වෙන්න එයාලට පුළුවනි. අනේ මන්දා ඉතින් මෙච්චර ප්‍රශ්න කරදර තියෙන ලෝකෙ කොහොම කියලා සතුටින් ඉන්නද? ඉතින් ඒ අය සතුටින් ඉන්න විදිහ දැක්කම ඇත්තටම පුදුමයි. සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් එහෙම කෙනෙක් ළඟ සතුටින් ඉන්න විදිහ ගැන මොකක්හරි රහසක්වත් තියෙනවද දන්නෑ කියලා නේද? සතුටින් නැති අය නොකරන, නමුත් සතුටින් ඉන්නා අය කරන සමහර විශේෂ දේවල් තියෙන්න පුළුවන්.

නමුත් ඇත්තටම ඒක හරිම සරල කාරණාවක්. අසතුටින් ඉන්නා අය නොකරන දේවල් කිහිපයක් සතුටින් ඉන්නා අය තමන්ගේ සතුට වෙනුවෙන් සිදු කරනවා. ඉතින් ඔයාටත් සතුටින් ඉන්න ආසයි  නේද? එහෙනම් සතුටින් ඉන්න නම් ඔයා මොනවද කරන්න ඕනෙ කියලා මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන් වේවි.

1. තමන්ට ලැබෙන ආශිර්වාද ගණන් කරන්න. 

සතුටින් ඉන්න අය හැකි සෑම අවස්ථාවකදීම තම කෘතවේදී බව පළ කරනවා. ඒක මොන කාරණාවක් පදනම් කරගෙනද කියන එක එයාලට එච්චරම වැදගත් නැහැ. ඔවුන් තමන්ගේ රැකියාවට කෘතවේදී වෙනවා. තමන්ගේ යහපත් සෞඛ්‍යයට කෘතවේදී වෙනවා. ඒ වගේම තමන්ගේ ආදරණීයයන්ට, පවුලට සහ යාලුවන්ටත් එහෙමයි. ඉතින් සතුටින් ඉන්න නම් ඔබට ලැබෙන දේ කුමක් වුවත් ඔබ විසින් කෘතඥ විය යුුතු දේවල් වලට නිර්ලෝභීව කෘතඥ වෙන්න. එවිට ඔබට ලැබෙන ආශිර්වාදය අනිවාර්යෙන්ම ඔබව සතුටින් තබාවි.

2. තමන් වටා ධනාත්මක පුද්ගලයින් රඳවා තබාගන්න. 

සතුටින් ඉන්නා අයගේ පුරුද්දක් තමයි එයාලා සෘණාත්මක පුද්ගලයින් සමඟ තමන්ගෙ කාලය කා දමන්නේ නැහැ. එයාලා අනිවාර්යෙන්ම තමන්ගේ කාලය ගත කිරීම සඳහා තෝරාගන්නේ තමන්ව දිරිගන්වන, ශුභවාදී සහ ධනාත්මක පුද්ගලයින්වයි. ඉතින් ඔවුන්ගේ ජීවිතය සාර්ථක වීම ගැන තවත් ප්‍රශ්න අහන්න ඕන වෙන්නෙ නෑ. නමුත් ඔයා වටේ ඉන්න අයත් අසතුටින් ඉන්න අයනම් ඔයාගෙ සතුටත් අඩු වේවි. ඒ නිසා පුළුවන් තරම් සතුටින් ඉන්න ධනාත්මක මිතුරන් ආශ්‍රය කිරීම සුදුසුම දෙයක් බව ඔබට වැටහෙනවා ඇති.  එහෙම කියලා කරදරේ වැටිච්ච යාලුවට උදව් නොකර ඉන්න එපා.

3. ජීවිතයේ පුංචිම දෙයකින් උනත් සතුටු වෙන්න. 

සතුටින් ඉන්න අය කවදාවත් සතුට සඳහා ලොකු ලොකු සතුටු සාද වගේ වැඩසටහන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එයාලගෙ ජීවිතයට සම්බන්ධ වෙන ඉතා කුඩා දේකින් උනත් ලොකු සතුටක් ලබන්න ඔවුන්ට පුළුවනි. සමහරවිට ගෙවත්තේ වැවෙන පුංචි මලක් පිපෙන විදිහ දැකලා, නැත්නම් පුංචි දරුවෙක් හිනාවෙන හුරතලේ දිහා බලලා, තමන් වැඩ කරන තැන ඉන්න යාලුවෙක් දකින වෙලාවක එයාට පුංචි හිනාවකින් සංග්‍රහ කරලා වගේ පුංචි දේවල් වලින් තමන්ට ලොකු සතුටක් ලබා ගන්නවා.

4. කොපමණ නරක දෙයක් වුවත් හැමවෙලේම “හොඳයි” කියන්න. 

සමහර වෙලාවට අපිට ගොඩක් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නමුත් ඔබ දැකලා ඇති “මට මේ කරදරේ උනත් ඒකෙන් මට හොඳක් සිද්ධ වෙන්න ඇති” කියලා ඒ ගැන සැළකිල්ලක් නොදක්වන අය. එහෙම නැතිව අනේ, මට කරදරයි, ප්‍රශ්න ගොඩයි කියලා අසතුටින් ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා තමන්ට කරදරයක්, පාඩුවක් සිද්ධ උනත් “හොඳයි” කියලා සුබවාදීව හිතන්න පුළුවන්නම් අනිවාර්යෙන්ම ඔයාට සතුටින් ඉන්න පුළුවනි. හිතන්නකෝ එයාපෝට් එකට යන ඔයාගෙ වාහනේට පුංචි අනතුරක් සිදු වුණා කියලා. එතකොට “මට මේ අනතුර නිසා ටිකක් ප්‍රමාද උනා තමයි. ඒත් ෆ්ලයිට් එක අද පරක්කු වේවි” කියලා හිතන්න පුළුවන් වුණෝතින් හිතට සතුටින් ඉන්න අමාරු නෑ නේද?

happy-people
5. කිසිදු හේතුවක් නොමැතිව අනුන්ට උදව් උපකාර කරන්න. 

සතුටින් ඉන්න අය කොන්දේසි විරහිතව සහ හේතු නොදක්වාම අනුන්ගේ සතුට උදෙසා උදව් කිරීමට පෙළඹෙනවා. තමන්ගේ නිවසේදී. එහෙමත් නැත්නම් කාර්යාලයේදී තමන් වෙතට පැමිණෙන ඕනම කෙනෙක්ට ප්‍රශ්න නොනඟාම අවශ්‍ය උපකාරයක් ලබා දෙනවා. ඒ වගේම ඒ අයට අනික් මිනිසුන්ට කරුණාව දක්වනවා. සමහරවිට ඔහුගේ සේවය ලබා ගන්නා කෙනා අසතුටින් වෙන්නත් පුළුවන්. ඒත් ඔබ ඔවුන්ට සිදු කරන උපකාරය නිවැරදි දෙයක් නම් ඔබට සතුටින් ඉන්න බැරිවෙන්නේ නැහැ.

6. ධනාත්මක දේවල් පමණක් නරඹන්න. 

ධනාත්මකව හිතන සතුටින් ඉන්නා අය කවදාවත් අසුබ දේවල් පිළිබඳ අවධානය යොමු කරන්නේ නැහැ. ඒ කියන්නෙ අපරාධ සහිත චිත්‍රපටි හෝ නරක දේවල් සහිත රූපවාහිනී ප්‍රවෘත්ති ඔවුන්ට වැදගත් වෙන්නේ නැහැ. ඒ අය අවධානය යොමු කරන්නේ ධනාත්මක දේවල් සඳහා පමණයි. අපි හැමෝම වීඩියෝ බලනවනේ. ඉතින් මේ සතුටින් ඉන්න අය නම් බලන්නේ හිනා යන වීඩියෝ විතරයි. දුක හිතෙන ඇඟේ මයිල් කෙලින් වෙන දේවල් එයාලා බලන්නේ නැහැ. ඉතින් තවදුරටත් ඒ අය සතුටින් ඉන්නවා.

7. තමන්ට සතුටක් ගෙන දෙන දේවල් කරන්න.

ඔන්න දැන් ඔයා කරන්න ඕනෙ ඔයාට සතුට ගෙන දෙන දේවල් ලැයිස්තු ගත කරන එක. ඊට පස්සෙ පුළුවන් තරම් ඒ දේවල් වලට හිත යොමු කරන්න. ඒ දේවල් කරලා තමන්ට සතුටක් ලබා ගන්න. මේ දේවල් ඔයාගෙ විනෝදාංශ බවට පත් කරගන්නත් පුළුවනි. ඔන්න ඒ දේවල් අතර කුස්සියේදී කේක් එකක් හදන එක, සෙල්ලම් ගුවන් යානාවක් හදන එක වගේ බොහොම සරල දේවල් කරලා සහ තමන්ගෙ එදිනෙදා ක්‍රියාකාරකම් තුළින් සතුට ළඟා කරගන්න පුළුවනි.

8. “කරුණාකර” සහ “ස්තූතියි” යන වචන ඔබේ ශබ්ධකෝෂයට එකතු කරගන්න. 

ඔබට කිසියම් කෙනෙක් උපකාරයක් කළ අවස්ථාවක “ඔබට ගොඩක් ස්තූතියි” එහෙමත් නැත්නම් “කරුණාකරලා මම ඉල්ලපු පොත මට දෙනවාද?” වගේ බොහොම ආචාරශීලී විදිහට අනෙක් පාර්ශවයට සළකන්න පුළුවන් වෙනවා නම් අනෙක් පාර්ශවය සහ ඔබ අතර හොඳ සබදතාවයක් අනිවාර්යෙන්ම ගොඩ නැඟෙනවා. ඉතින් හොඳ සබඳතාවයක් තියෙන තැනක සතුට කියන දේ අනිවාර්යයි. ඔබගේ ආචාරශීලී බව ඔවුන්ගේ දවස සුබවාදී බවට පත් කරනවා වගේම ඔවුන්ගේ යහපත් ප්‍රතිචාර ඔබව සතුටින් තබාවි.

9. ඔබේ ලෝකය ඔබම හදාගන්න. 

සමහර අවස්ථාවල අපි දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ හෝ මිතුරන් වැනි අයගේ රාමු තුළට කොටු වෙනවා. “පුතා කවදහරි ඩොක්ට කෙනෙක් වෙන්න ඕනෙ.” මේ වගේ රාමු නිසා අපේ සතුට අහිමි වෙන්න පුළුවනි. නමුත් උදාහරණයක් විදිහට ඔයාගෙ දක්ෂතාවය තියෙන කලා කටයුත්ත කිරීමෙන් වෛද්‍යවරයෙක් වෙනවාට වඩා සතුටක් ඔබට ලැබේවි.

ඒ වගේම ඔයාගෙ සීමා මායිම් ගැන ඔයා නොදන්නා නිසාත් සතුට නැති වෙන්න පුළුවනි. ඒ කියන්නෙ “මගේ යාලුවට කාර් එකක් තිබ්බට මට නෑනෙ” කියලා දුකක් ඇති කරගත්තට ඔයා ළඟ වාහනයක් ගන්න තරම් සල්ලි නැතුව ඇති. ඉතින් තමන්ගෙ සීමාව අවබෝධ කරගත්තම ඔබට සතුටින් ඉන්න පුළුවන්.

මේ කරුණු කාරණා ගැන ටිකක් හිතන්න කියා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ක්‍රියාත්මක කරලා බලන්න. හැමදාම උදේට ඔයාට සතුටින් අවදි වන්න පුළුවන් වේවි. ඒ වගේම හැම වෙලේම සතුටින් ඉන්න ඔබ හැමෝටම අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු බවට පත් වෙනවා නිසැකයි.




%d bloggers like this: